අධික ණය, දුර්වල ප්‍රතිපත්ති තීරණ සහ දුර්වල පාලනය හේතුවෙන් ඇති වූ උග්‍ර ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව තවමත් මුහුණ දෙමින් සිටී. මෑතකදී ගත් පියවර උද්ධමන වේගය අඩු කිරීමට සහ විදේශ සංචිත ඉහළ නැංවීමට තරමක් උපකාර වූ නමුත්, ආර්ථිකය සම්පූර්ණයෙන් ප්‍රකෘතිමත් වීම සහ දියුණු ආර්ථිකයක් බවට පත්වීම සඳහා වන මාර්ගය තවදුරටත් ඉතා අභියෝගාත්මක වේ. එසේම සාමාන්‍ය පුරවැසියන් තවමත් ඉහළ මිල ගණන්, ඉහළ බදු සහ බලාපොරොත්තු සුන්වීම හේතුවෙන් පීඩාවට පත්වී ඇත.
සමාජ ප්රජාතන්ත්රවාදී දේශපාලන මූලධර්ම මඟින් මෙහෙයවනු ලබන සමාජ වෙෙළඳපොළ ආර්ථික ආකෘතියක් අපි අනුගමනය කරන්නෙමු. මෙමඟින් සාධාරණ හා සියල්ලන් ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා, වෙෙළඳපොළ ශක්තීන් උපයෝගී කරගනිමින් සමාජ යුක්තිය හා සැමට ආරක්ෂාව සහතික කරන්නෙමු. අපගේ ආර්ථික යෝජනා සැලැස්ම 3.0 (Blueprint 3.0) මඟින් මෙම අභියෝග ජය ගැනීමට, ශක්තිමත් වර්ධනයක් තුළින් ආර්ථිකය යළි ගොඩනැගීමට සහ සියලු දෙනාට සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට උපායමාර්ගික සැලැස්මක් සපයයි. දූෂණය තුරන් කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන කොටසක් වුවද, එය එකම විසඳුම නොවන බව අපි දනිමු. ආර්ථික අභිවෘද්ධිය සහ සංවර්ධනය සඳහා හරිත ආර්ථිකයක් හා පාරිසරික තිරසරභාවයක් ප්‍රවර්ධනය කිරීම ද අපගේ මූලික සංකල්ප අතර ප්රමුඛ වේ.
තිරසර වර්ධනයක් ළඟා කරගැනීමට අපට දෙයාකාර ප්‍රවේශයක් අවශ්‍ය වේ. පළමුව, අපි ආර්ථිකය ප්‍රතිසංස්කරණය කර, එය වඩාත් තරගකාරී සහ ගෝලීයව සම්බන්ධ ආර්ථිකයක් බවට පත් කළ යුතුය. මෙමඟින් ජනතාව අතර ධනය නිර්මාණය කරනු ඇත. දෙවනුව, අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා ඉලක්කගත සහනාධාර සහිත ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් තුළින් ආර්ථික යුක්තිය සහ සමානාත්මතාව සහතික කරනු ඇත. තවද, ආර්ථික ප්‍රගතිය අපගේ පුරවැසියන්ගේ යහපැවැත්ම හා සමස්ත සතුට සමඟ අත්වැල් බැඳගෙන සමාජයක් ගොඩනැගීම තුළින් දළ ජාතික සතුට (Gross National Happiness) ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරමු.